තනුජා එන්. අයගම

කළුතර හොරණ පාරේ, රන්නුන්ගල ඇය උපන් ගමයි. පළමු ශ්‍රේණියේ සිට දසවන ශ්‍රේණිය දක්වා කළුතර උග්ගල්බඩ මහ විදුහලෙන් අධ්‍යාපනය ලද ඇය වානිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ හැදෑරීම උදෙසා කළුතර බාලිකා ජාතික පාසල වෙත ගියාය. සිය පියාගේ අඩිපාරේ යමින් කුඩා අවදියේ සිටම කවි රචනා නිර්මාණය කරමින් පත්තරවලට යොමු කළ ඇය සිය නිවසින්, ගමෙන්, පාසලෙන් තම නිර්මාණ දිවියට අත්දැකීම් එකතු කරගනිමින් 1997 වර්ෂයේ ඇගේ පළමු ළමා කවි පොත “චූටි කවිතරු” නමින් ප්‍රකාශයට පත්කළාය. එතැන් පටන් ළමා සාහිත්‍ය කෘති 27ක් පමණ සමාජයට තිළිණ කළ ඇය විෂය පිළිබඳ හදාරමින් නිර්මාණකරණයේ යෙදෙන්නීය. 2012 වසරේ සිට ගත වූ දස වසර තුළ ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මාන 6ක් ලබාගෙන ඇති අතර ළමා සාහිත්‍ය විෂයට සම්බන්ධ සංවිධාන සමගින් එක්ව විවිධ ක්‍රියාකාරකම්හි සක්‍රීයව දායක වෙයි.

Thanuja N. Ayagama

She was born in Rannungala, Kalutara, Sri Lanka. She received her primary education at Kalutara Uggalbada Maha Vidyalaya and went to Kalutara Girls’ National School for her secondary education in the commerce stream. Following in her father’s footsteps, she wrote poems. She submitted them to newspapers since she was a child. She gathered experiences from her home, village, and school for her creative career and published her first book of children’s poems in 1997 under the name “Chuti Kavitharu”. Since then, she has presented about 27 children’s literary works to society and is engaged in creative works while studying the subject. Since 2012, she has received 6 State Literary Awards and actively participates in various activities along with organizations related to children’s literature.

සුරංගනා ලොවෙන් මෙහා සැබෑ ලොවේ සිහින ගෙනා අපේ ළමා කතාකාරිය - තනුජා එන්. අයගම

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි

සාහිත්‍යය වනාහි මේ ජීවිතයේ ම ප්‍රතිනිර්මාණයක්නම්, මිනිස් මනසෙහි අපූර්වතම වින්දනාත්මක අත්දැකීමක් නම් චමත්කාරජනක ළමා අවධිය නිසැකව ම එහි මූලයයිත මුල් බීජයයි. ඒ ‘ළමා විය’ නැතහොත් ‘ළමයා’ වෙනුවෙන් නිර්මාණය වන සාහිත්‍යය ‘ළමා සාහිත්‍යය’ ලෙස සැලකෙයි. මහා සාහිත්‍ය ධාරාවේ ම මූලික ප්‍රවර්ගයක් ලෙස ළමා සාහිත්‍යය අද ජාත්‍යන්තර වශයෙන් විවිධ මං ඉසව් කරා ව්‍යාප්ත වෙමින් පවතියි.

ළමයාගේ පෞරුෂය, දැනුම, කුසලතා සහ නිර්මාණාත්මක චින්තනය පුබුදුවන ළමා සාහිත්‍යය පිළිබඳ පිළිගත් නිර්වචන සියල්ල තිබිය දී මෙවන් හඳුනා ගැනීමකින් පමණකින් වුව ළමා සාහිත්‍යයකරණයෙහි ලා ඇති වගකීම අපට වටහා ගත හැකිය. ළමයා වෙනුවෙන් සිතන, ලියන වැඩිහිටියාට ඇති ඒ භාරදූර වගකීම සහ අභියෝගය ‘ළමයා’ වෙනුවෙන් කී පමණකින් ම හඳුනා ගනිමු. ළමයින්ට ලිවීම සරල පහසු කාර්යයක් නොවන බව වියතුන්, ලේඛකයින් හා අධ්‍යාපනඥයින් තරයේ ම කියා සිටින අතර සාහිත්‍යකාමීන් හෝ පාඨකයින් ලෙස අපි අද එය ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන සිටිමු.

ළමයාට මේ ජීවිතය මෙන්ම අවට ලෝකය ද අලූත් ය. අලූතින් ම ජීවිතය හා ලෝකය අත් දකිමින් වැඩෙන දරුවා පත පොත කියවීම හුරු වූ තැන් පටන් ම තමා අවට ලෝකය ප්‍රශ්න කරයිත චිත්‍ර, රූපමය භාෂාව මෙන්ම, අකුරු සහ වචන සමග ද සුවිශේෂී ගනුදෙනුවක් ඇති කර ගනියි. ඒ හෙයින් ළමා සාහිත්‍ය නිර්මාපකයාට සිතන්නට, හදාරන්නට ඇති මූලික අධ්‍යාපනික සහ මනෝ විද්‍යාත්මක කරුණු කාරණා ද බොහෝ ය. රස නිෂ්පන්තියත්, චමත්කාරයත්, දරුවාගේ චිත්තවේගී සහ බුද්ධිමය සංවර්ධනයත් ඵල ගන්වන ළමා සාහිත්‍ය නිර්මාණයකට අත ගැසීම ම එක්තරා අභියෝගයකැයි අපට සිතෙනුයේ අප කුඩා කල කියවූ ළමා පතපොත නැවත විමසා බලද්දී ය. ඒ අනුව පොත පත කියවන කුඩා දරුවා හෙට පූර්ණ වැඩිහිටියෙකු බවට පත් වනුයේ ළමා සාහිත්‍යයේ බලපෑමෙන්යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

ශ්‍රී ලාංකේය ළමා සාහිත්‍යයේ මග ලකුණු සනිටුහන් කළ කුමාරතුංග මුනිදාස, එස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා වැනි ප්‍රමුඛතමයින් අතර අපේ කාලයේ ළමා ලොවේ වීරවරිය ආදරණීය ‘සිබිල් නැන්දා’ හෙවත් සිබිල් වෙත්තසිංහ මෙහි දී අපේ සිහියට නැගෙයි. යුගයෙන් යුගයට, පරපුරෙන් පරපුරට ලාංකේය ළමා සාහිත්‍යය ඔප් නැංවූ ලේඛක ලේඛිකාවන් කොතෙක් සිටිය ද, අපේ ළමා විය පොහොසත් කළ සෝවියට් ළමා පොත් සහ ඉංග්‍රීසි ළමා සාහිත්‍ය කෘති අපේ රටේ දරුවන්ගේ සාහිත්‍ය රස වින්දනයෙහි ලා විශාල බලපෑමක් වූ බැව් දනිමු.

අනූවේ දශකයේ අග භාගයේ ළමා සාහිත්‍ය නිර්මාණකරණයට පෙළඹෙන තරුණ ලේඛිකාවක නව සහශ්‍රයේ දී සම්මාන පිට සම්මාන ලබමින් මෙරට ළමා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ජය කිරු`ඵ පළඳින්නේ යට කී සාහිත්‍යමය පසුබිමෙන් පෝෂණය ‘දැරියක’ ‘වැඩිහිටියෙකු’ සහ ‘රසවතියක’ ලෙසය. ඇය නමින් තනුජා එන්. අයගමය. ගම කළුතර රන්නුන්ගලය. ගමෙන් ගෙනා ළමා වියේ මතක සංවේදනා පොදියත්, නගරයෙන් උකහා ගත් විවිධ අධ්‍යයනාශ්‍රිත දැනුම් හා අත්දැකීම් ගොන්නත් එක් කර ගත් තනූජා තමාට අනන්‍ය වූ නිර්මාණ සමුච්චයකට අත ගසන්නේ ම මේ ළමා සාහිත්‍යකරණයෙහි සංකීර්ණත්වය මැනැවින් වටහා ගෙනය. ඇගේ සාහිත්‍ය දිවිය එක රැයක අහඹු සිහිනයක් නොවේ. ඇය මෙතෙක් පළ කළ ළමා සාහිත්‍ය කෘති එකින් එක විමසා බලත්ම එය වටහා ගත හැකිය. මෙතෙක් ගණනින් විසි පහකට ආසන්න ළමා පොත් පළ කර ඇති ඇය එයින් පහකට පමණ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගෙන තිබීම තවත් විශේෂ සංසිද්ධියකි. ඒ අතර ඇගේ නිර්මාණ හරහා ඇය තබා ඇති ‘අයගම මුද්‍රාව’ වඩාත් වැදගත්යැයි අපි විශ්වාස කරමු. අහස් ගමට ගිය සිත්තරා (2012) මුහුද සහ දෝණි (2014) ඉර එළිය (2016) මගෙ ගුරුතුමා (2017) සහ හරි පුදුමයි. (2019) රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ සාහිත්‍ය කෘති පමණක් ම වුව තනුජාගේ ලේඛන ශෛලිය සහ අනන්‍යතාව සනිටුහන් කළ ළමා සාහිත්‍ය ප්‍රවණතාවක් ලාංකේය අපට දායාද කළ කෘති යැයි හැඳින්වීම වඩාත් සාධාරණ ය.

‘අහස් ගමට ගිය සිත්තරා’ තනුජාගේ සාහිත්‍ය චාරිකාවේ ද අහස් ගමට ගිය හැරවුම් ලක්ෂ්‍යයයැයි හැෙ`ගයි. සිබිල් නැන්දාගේ කතා සහ සිතුවමට දැඩිව ඇලූණු සාහිතකාමී ළමා – යොවුන් – වැඩිහිටි ප්‍රජාවට අලූත් ම අත්දැකීමක් වූ මේ කෘතිය එහි අන්තර්ගතය මෙන්ම නිමාවේ හැඩය සහ ප්‍රමිතිය නිසාදෝ විදෙස් සාහිත්‍ය කෘතියක අනුවර්තනයක් හෝ පරිවර්තනයක් කෙසේ වෙතත් ඒ ආභාසයෙන් ලියැවුණු ‘කොපියක්වත්’ දැයි සිතෙන පමණටම අපට ඒ කෘතිය කලෙකින් පසු හමු වූ වෙසෙස් ළමා කෘතියක් ම වූ බැව් මතකය. ජනප්‍රියත්වයෙන් ඉහළ, වාණිජමය ලකුණින් පොහොසත් තද වර්ණාලේපිත ග්‍රැෆික් චිත්‍ර සහ ලොකු අකුරු සහිත හරි හතරැස් පොත් අච්චුවෙන් මිදුණු, පිටත හැඩයෙන් මෙන්ම නිමාවෙන් ද වෙනස් ඇතුළත චිත්‍ර, වර්ණ සංයෝජන සමග අන්තර්ගතයෙන් සහ සැලසුම්කරණයෙන් ද වෙනස් කෘතියක් හිටිහැටියේ ම දුටු සැණ එවැනි පොතක් එබඳු සැකයකට විමර්ශනයකට බඳුන් වීම පුදුමයක් නොවේ. එහෙත් අද මේ වන විට තනුජා ආ ගමන් මග නිශ්චිත අධ්‍යයනයකින් විමසා බලන කවරෙකුට වුව ද ඇගේ මේ නිර්මාණ සමුච්චයෙන් කැපී පෙනෙනුයේ ඇගේම ජීවන අත්දැකිම් හා ලාලසාවම වීම තවත් අපූරු අත්දැකීමකි. මේ රාජ්‍ය සම්මානලාභී කෘති අතර, වැඩි අවධානයට ලක් වූ ‘අහස් ගමට ගිය පුංචි සිත්තරා’ ‘මුහුද සහ දෝණි’, මෙන්ම ‘මගෙ ගුරුතුමා’ කෘති ත්‍රිත්වය මෙහිලා විශේෂයෙන් කැපී පෙනෙනුයේ ඒවායේ ඇති විෂය හා තේමාත්මක ගැඹුර නිසායැයි සිතමි. තනුජාගේ ජීවන දැක්ම හා සැබෑ අත්දැකීම් ළමයින් වෙනුවෙන් ප්‍රතිනිර්මාණය වූ ආකාරය වඩාත් ප්‍රශස්ත ලෙස මේ කෘති ත්‍රිත්වයෙන් මතුව ඇති අයුරු සැබැවින්ම අගයමි. සංවේදී අත්දැකීම් විෂය කර ගනිමින් වෙනස් තේමාවන් ඔස්සේ ගිය මේ කතා ත්‍රිත්වයේ අග්‍ර ඵලය මානව දයාව, සොබාදහමට ඇති ආදරය, විශේෂ හැකියා සහිත දරුවන් සහ සාමාන්‍ය දරුවන් සිය හැකියාවන් සහ නොහැකියාව ජය ගැනීමේ, ඔවුන්ගේ ආත්ම විශ්වාසය මෙන්ම සෞන්දර්යයාත්මක බැඳිම වීමම ඒ ත්‍රිත්වයේ ආත්මය යැයි හඟිමි. මේ නිසාම දෝ මේ කතා ත්‍රිත්වයේ භාෂා ශෛලියෙහි පවා යම් සාම්‍යයක් දක්නට ලැබේ. චිත්‍ර හා වර්ණ සංයෝජනය ද කතාවේ අන්තර්ගතයට මැනවින් ගැළපෙන අතර එයින් පරිපාකයට ගිය කෘතිය ‘අහස් ගමට ගිය පුංචි සිත්තරා’ වීම වෙනම විග්‍රහයට ලක් කළ යුතු වැඩකි. කතුවරියගේ කවිත්වය පවා සියුම්ව මතු වන අපූරු කාව්‍යමය යෙදුම් මෙහිදී අපට හමු වේ.

‘ගිනි ගත් අහස’ ‘පැලූණු අහස’ වැනි අහස් ගමෙහි තතු සිත්තම් කරන වචන ඇසුරෙන් ළමා පාඨකයා කවියට, කවියෙහි බසට හා චමත්කාරයට පහසුවෙන් ළං කර ගත හැකියැයි සිතමි. එයින් ම දරුවා පරිසරයට බැෙඳන සොඳුරු කවි කල්පනා, ආවේදන හෝ සංවේදනා ද මතු වේ.

‘වලා අශ්වයන්, අහස් ගංගාවේ පාවෙන වලා රුවල්, වලා ගස්, වලා ඇළදොළ, වලා කුමරුන් ළමයගේ අතින් සිතුවම් වුණා.’

ළමා සාහිත්‍ය කෘතියකින් ඉටු විය යුතු දරුවාගේ පරිකල්පනය සහ කුසලතා මතු කරලීමෙහි ලා පොහොසත් අත්දැකීමකට කතාවේ අන්තර්ගතය ඉඩ සලසන අතර චිත්තවේග සහ සංජානනය මනා ලෙස හසුරුවන අයුරින් නිර්මිත සියුම් ව්‍යංග්‍යාර්ථයකින් කතාව අවසන් වේ. දරුවාගේ ආබාධිත බව කතාවේ සෙසු දරුවන් සේම කියවන පාඨකයා පවා දැන ගනුයේ ඒ අවසානයේ දී ය. මෙය දරුවාට ‘සහකම්පනය’ (empathy) හුරු කරවමින් සොබා දහමට මෙන්ම මනුෂ්‍යත්වයට දරුවා සමීප කරවන අපූරු වෑයමකිත අපේ ළමා සාහිත්‍යයට එක් වූ වෙනස් ම ආරක නැවුම් අත්දැකීමකි. ළමා මනසෙහි සියුම් මනෝ භාවයන් පවා සීරුවෙන් හසුරුවා ගැනීමට සමත් වූ ඒ ‘කුතුහලය’ නිසාම මේ අත්දැකීම අමුවෙන් නොදී වඩාත් සංයමයෙන් පොතකට ගොනු කිරීමට කතුවරියට හැකි වී තිබේ. ‘අහස් ගම’ පවා මෙහි යෙදෙන ප්‍රබල රූපකාර්ථයකි. ඒ නිසාම මේ ළමා පොත ව්‍යංග්‍යාර්ථයෙන් ද පොහොණි වූ පූර්ණ කවියක් වැන්න. මේ කතාවේ කතා නායකයාගේ නිර්මාණ ශක්තියත් සමග මෙහි ඇතුළත් සිතුවම් ඇසුරෙන් ළමා පාඨකයා ද සිතුවම්කරණයට මෙන්ම රචනයට ද පොළඹවන නිර්මාණයකැයි සිතමි. ළමා කෘතියක ඵලදායිත්වය මේයැයි පෙන්වන ආදර්ශ කෘතියකැයි හැඟෙන පමණටම මෙය ආවේදන, ප්‍රජානන සහ සංජානන ශක්තින් සමග දරුවාගේ පෞරුෂ සංවර්ධනයට බලපාන ළමා සාහිත්‍ය කෘතියක්යැයි පවසනු වටී.

‘මුහුද සහ දෝණි’ ද එවැනිම සොඳුරු කවියක් වන අතර මේ කෘති ත්‍රිත්වය වයස අවුරුදු 9 සිට 12 දක්වා වයස් පරතරයක දරුවන්ට වඩාත් යෝග්‍ය වේ. මෙහි කතා නායිකාව දැරියකි. රළ නගන මහ මුහුද ඇසුරෙන් සිය උත්සාහය ජය ගන්නා සිඟිති දැරියකගේ, මේ අත්දැකීම ද අතිශයින් ම හෘදයාංගම ය. ‘මගේ ගුරුතුමා’ කෘතියේ දී ද ‘ඕවිටි ගෙදර පුංචි ගුරුතුමා’ කතාව අගදී අපට මුණ ගස්වන කතුවරිය කිසිවක් නොකියාම ඒ දෑස් අඳ දරුවා කෙරෙහි ළමා හදවත් සහකම්පනයෙන් තෙත් කරවයි. ළමා මනස නිවැරිදිව වටහා ගෙන ඊට හානියක් නොවන පරිදි මෙවැනි සියුම් අත්දැකීම් හෝ මනෝභාවයන් දරුවාට සමීප කරවීම පහසු කාර්යයක් නොවේ. සුරංගනා ලොවක අත්දැකීම් හෝ මායාමය අත්දැකීම් ගලපා ලියා දරුවන් සතුටු කරවීමටත් වඩා සැබෑ යථාර්ථයම දරුවෙකුගේ සිහිනයත්, ඉලක්කයත් නැතහොත් අවබෝධයක් බවට පත්කරවාලීම කිසියම් අභියෝගාත්මක අභ්‍යාසයකි. කතුවරිය සිය නිර්මාණකරණයෙහි ලා ගත් මග වෙනස් වනුයේ ඇය දරුවන්ගේ අරුමැසි සිහින සියල්ල මහ පොළොවට ගෙනා නිසාය. මෙකී සම්මානිත කෘති ත්‍රිත්වය ඇසුරෙන් වුව ද ඇගේ ඒ එලඹුම හා ජීවන දැක්ම වටහා ගැනීම පහසුය. මේ කෘති ළමා මනෝවිද්‍යාවේ දි මේ පිළිබඳ පවත්නා විවිධ මතභේද පවා විවාදාපන්නව සාකච්ඡාවට ලක් කළ හැකි කතා ති්‍රත්වයකැයි සිතේ.

‘ඉර එළිය’ තනුජා තෙවන වතාවට සම්මානයට පාත්‍ර වූ ළමා සාහිත්‍ය කෘතියයි. ඒ ද යථාර්ථාවාදී එලඹුමකින් ම ලියැවුණු දරුවන්ට වඩාත් සමීප සරල අත්දැකීමකි. මෙය ‘ඵලදායිත්ව’ (productivity) සංකල්පයට පවා ඉවහල් කර ගත හැකි වඩාත් ප්‍රායෝගික අත්දැකීමකි. චිත්‍ර තරගයට ‘සෙවණැල්ල’ යන මාතෘකාව යටතේ ක`ඵ පාට පැන්සලකින් ම චිත්‍රය අඳින දරුවාගේ ඒ චිත්‍රයට ප්‍රථම ස්ථානය ලැබේ. චිත්‍රය ඇගයෙද්දී ම පියා ගෙදර දමා ආ පාට පෙට්ටිය රැගෙන එයි. මේ අහම්බය මගහැර වෙනත් කතුවරයෙකුට අපට හුරුපුරුදු සුලබ කථානුසාරයෙන්ම දරුවාට උරුම පීඩිත පන්තිය හෝ දිළිඳුභාවය මතු කර කතාව ගළපා ගත හැකිව තිබිණ. තනුජා එබඳු ව්‍යාජ උත්සාහයන්ට නොයා ළමා පාඨකයාට සමීප කරවන මේ නිර්ව්‍යාජ අත්දැකීම, නිසාම ස්ථානෝචිත ප්‍රඥාව, ලද දෙයින් තෘප්තිමත් වීම, අවම සම්පත්වලින් ජීවිතයට මුහුණ දීම වැනි පෞරුෂයීය වර්ධනයට තුඩු දෙන ආකල්ප ළමා මනසට හැෙ`ගන්නට, දැනෙන්නට ඉඩ සලසයි.

සම්මානයට පාත්‍ර නොවූව ද ‘කනිගාගේ නුවණ’ තනුජාගේ ළමා සාහිත්‍ය දායකත්වයෙහි තවත් සුවිශේෂි ඵලයකැයි අපි විශ්වාස කරමු. එය දෘෂ්ටිමය එළඹුමකින් කතුවරිය පෙරට ආ ළමා කෘතියකි. කනිගා දැනුමෙන් වැඩුණු දක‍ෂ දැරියකි. ඒ නිසාම අහස් ගමේ දි සිය නුවණෙහි මහිමය පෙන්වීමට ඇයට අවස්ථාව ලැබේ. ‘තරු කුමරිය’ හා ‘දේදුනු කුමරිය’ අතරින් ලස්සන ම කුමරිය තෝරන තීන්දුව දෙන කනිගා ‘දේදුනු කුමරිය’ දවාලටත්, ‘තරු කුමරිය’ රාත්‍රියටත් ලස්සන බව කියයි. ‘වලා කුමරියන්,’ දේදුනු හෝ තරු කුමරියන් චරිත බවට ගත්ත ද මේ කථාවේ මූලය ද මහ පොළොවේ පැළ වූ අත්දැකීමකට බද්ධ වේ. රූප රාජිණී තරඟ, රියැලිටි ස්ටාර්, සුපිරි තරු වැනි විවිද තර`ග අතර හෙම්බත්ව සිටින වණික් සමාජයක සිරවූ වර්තමාන ළමා ලෝකයට එල්ල කළ කිසියම් ආකල්පමය බලපෑමක් මෙයින් ධ්වනිත වනවා නොවේ ද? ගැහැනියකගේ වටිනාකම මැනෙන්නේ රූපයෙන් නොව ඵලදායිත්වයෙන් හෝ උපයෝගිතාවෙන් නැතහොත් ඇගේ දක‍ෂතාවෙන් හෝ මෙහෙවරින් බව මෙයින් හැඟෙනවා නොවේද? ඒ යථාර්ථය, ඒ ප්‍රායෝගික ඥානය දරුවාට හැඟවීමට කතුවරිය ගත් මග ප්‍රශංසනීයයැයි සිතේ. ස්ත්‍රී – පුරුෂ සමාජ භාවය අතින් සලකා බැලූව ද ළමා සාහිත්‍යයෙහි සමාජමය දායකත්වයට කතුවරියගේ මෙබඳු උත්සාහයන් වඩාත් වැදගත් බව මෙහිලා සඳහන් කළයුතුය.

හරි පුදුමයි (2018) 2019 දී රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ ළමා සාහිත්‍ය කෘතිය රිද්මයානුකූල කවි බසෙකින් ලියැවුණු ජන කතාවක් ඇසුරෙන් නිර්මිත කෘතියකි. ජන කතාවෙකින් වේවා පුරා වෘත්තයකින් වේවා ළමයින්ට ලියද්දී එය අනාගත දැක්මකින් යාවත්කාලීන විය යුතු නිර්මාණයකැයි අපි විශ්වාස කරමු. ඒ අනුව ගත් කල හුදෙක් ජන කතාවට ම නතු වූ නිසාදෝ කතුවරිය කිසියම් පසුගාමී චින්තනයකට කොටු වීමෙන් මේ කතාවේ අවසානය ගැටලූ සහගත වේ. එහෙත් එමගින් දී ඇති සමාජයීය දායකත්වය අගයන අතර පරිසර සංරක‍ෂණය සහ අපද්‍රව්‍ය කලමනාකරණය පිළිබඳ මේ මොහොතේ පවා මහ පොළොවේ දැවෙන සැබෑ ම ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීම ද පැසසුම් කටයුතු ය. එහෙත් කුණු අඩුවෙන්ම ගෙනා තරුණිය අවසානයේ දී රජතුමාගේ පුතාට විවාහ කර දීමෙන් මතු වන උත්ප්‍රාසය දරුවෙකුට මතු නොව වැඩිහිටි පරම්පරාවට ද වැරදි ආකල්පමය හැඟීමක් දෙන පසුගාමි චින්තනයකි. ගැහැනියකගේ කුසලතාව හා පෞරුෂය, ඇගේ අනලස් බව, වික්ෂණ භාවය හෝ කාර්යූරත්වය අවසානයේ දී ඇගයෙනුයේ ඇය රජුගේ පුතුට විවාහ කර දීමෙනි. එයින් ධ්වනිත විරෝධාහාසය (pavadox) හෝ උත්ප්‍රාසයට (Irony) ‘ගැහැනියගේ පින කුණු මුල්ලේ’ යන යල් පැන ගිය සෝපහාසවත් සාම්ප්‍රදායික යෙදුමෙහි අර්ථය තවත් අතෙකින් ප්‍රවර්ධනය වේ. මෙය අපි හුරු පුරුදු, සුලබ පුරුෂෝත්තමවාදී පසුගාමී චින්තනයකට දරුවා ද ඇද දමන්නකි. එකී චින්තනයට පිටු පා ඒ තරුණිය වෙනත් ආකාරයකින් අගයා මේ ජන කතාවම වඩාත් ඉදිරිගාමී චින්තනයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරියට අවකාශය තිබිණ. ඒ අවස්ථාව අහිමි කර ගැනීමෙන් තනුජා මෙතෙක් වඩා වර්ධනය කර ගත් සිය දැක්ම හා එලඹුම පළුදු කර ගත් ආකාරය විවේචනාත්මකව විමසුමට හා විචාරයට ලක් විය යුතුය. ඒ මන්ද යත්, අපේ මේ ‘කතා නායිකාව’ අද මේ වන විට ළමා සාහිත්‍යවේදිනියක ලෙස සමාජ නියාමන කාර්යභාරයකට ද ක්‍රියාකාරීව දායක වෙමින් සිටින බැවිනි. තවද, ළමයින් පමණක් ම නොව ළමයින් වෙනුවෙන් සිතන, පතන වැඩිහිටි අප ද ඇගේ සහෘදයින් වන බැවින් සද්භාවයෙන් ඇගේ සාහිත්‍ය මෙහෙවර කෙරෙහි එබඳු විචාරාත්මක විමසුමක්, බලපෑමක් කිරීමේ අයිතිය හා වගකීම අපට ද පැවරී තිබේ.

තනුජාගේ ප්‍රබන්ධ ළමා කතා සේම ‘නිර්ප්‍රබන්ධ’ ගණයට වැටෙන කෘති දෙකක් පිළිබඳව ද මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතුය. කවුද හැඩ (2016) 2017 රාජ්‍ය සම්මාන නිර්දේශිත, ‘පුංචි බිංදු ලොකු ගමනක්’ (2017) ‘කවුද කාට ද?’ රහස් කියන්නේ (2019) එබඳු කෘති ද්වයකි. සුරු (2014) පිටසක්වළින් ආ ජීවියෙකු සම්බන්ධ තවත් වෙනස් කතාවෙකි. නිධානය (2018) ජීවමාන චරිතයක් පාදක කර ගත් චරිතාපදානයකි. තවද පෙර පාසල් වියේ සිට අවු. 08 දක්වා වයස් කාණ්ඩයටද උචිත ළමා පොත් ඇය ප්‍රකාශයට පත් කර තිබේ. ‘යාළු යාළු යාළුවෝ’ (2019) අතිරේක කියවීම් පොත අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශනයකි. අධ්‍යතනික වැදගත්කමින් ද, සමාජයීය පදනමින් ද වැදගත් ඇගේ ළමා කෘති වලට අමතරව 2 වෙනි ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා රජයේ ප්‍රාථමික පාසල් නව විෂය නිර්දේශයට නියමිත පෙළ පොත් පාඩම් සම්පාදනයට ද ඇගේ දායකත්වය ලැබී තිබීම සතුටකි. ජාත්‍යන්තර මට්ටමින් පවා ඇගයුමට පාත්‍ර වූ සිිබිල් වෙත්තසිංහ බඳු ප්‍රවීණ, වෘත්තිමය ලේඛිකාවකගෙන් පවා ගත හැකිව තිබූ බොහෝ සම්පත් අපේ ප්‍රාථමික අධ්‍යාපනය හෝ විෂය නිර්දේශයේදි ප්‍රයෝජනයට නොගත් ලොව වෙනස් ම ජාතියක් වන අපි අවම වශයෙන් දැන් දැන්වත් මෙවන් නිර්මාණශීලී සම්පත්ලාභීන්ගේ උපයෝගිතාව වටහා ගැනීම ද සතුටකි. ඒ ගෞරවය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට හිමි විය යුතුය.

සමස්තයක් වශයෙන් තනුජාගේ ළමා සාහිත්‍ය මෙහෙවර විචාරාත්මකව විමසා බැලීමට මේ කුඩා ලිපියෙහි ඇති ඉඩකඩ සීමිතය. අධ්‍යාපනික හා මනෝවිද්‍යාත්මක එළඹුමකින් දරුවාගේ ආකල්ප, කුසලතා සංවර්ධනයට යෝග්‍ය සාහිත්‍ය කෘති හරහා කෙරෙන සමාජමය බලපෑමක් සමඟ කතුවරිය ප්‍රායෝගිකව මෙරට ළමා සාහිත්‍ය ක්ෂේත්‍රයට ක්‍රියාකාරී සම්පත් දායකත්වයක් ලබා දෙමින් ඒ වෙනුවෙන් කැප වී සිටින ආකාරයත් මෙහිලා අපේ අවධානයට ලක් විය යුතුය. දැනට ඇය IBBY ශ්‍රී ලංකා සංවිධානය, ‘රූම් ටූ රීඩ්’ ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ කොළඹ විශ්ව විද්‍යාලයීය පුස්තකාල හා තොරතුරු විඥාපන ආයතනය ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක නියැළෙමින් සිය සාහිත්‍යමය කාර්යය වඩාත් විධිමත්ව හා වෘත්තිය මට්ටමින් ප්‍රගුණ කර ගනිමින් සිටින ලේඛිකාවකි.

ලෝක සාහිත්‍යයට ළමා සාහිත්‍ය කෘති රැසක් එක් කළ රුසියානු ළමා සාහිත්‍යයේ ආභාසයත්, යථාර්ථවාදි සාහිත්‍ය රීතියේ බලපෑමත්, තමා ගමෙන් ගෙනා සැබෑ ජීවන අත්දැකීම් ගොන්නත්, තමාගේම ළමා වියේ චමත්කාරයත් මැනැවින් මුසු කර ගත් තනුජාගේ ළමා සාහිත්‍ය නිර්මාණ යට කී ඇගේ ඒ අනන්‍යතාව මත විමසා බැලිම වඩාත් උචිතය. පොදි පිටින් දෙන පණිවුඩ, අවවාද ආදර්ශ එහි දක්නට නොවේ. විශාල අකුරු, තද රළු වර්ණ, කෘත්‍රිම ලක‍ෂණ, ආටෝප සාටෝප වලින් ද තොර හුදෙක් ළමයාගේ හදවතට බුද්ධියට සෙමෙන්, රහසින් අමතන හෘදයාංගම ස්වරයත්, ඇගේ භාෂා ශෛලියේ මෙන්ම චිත්‍ර හා පිටු සැලසුම්කරණයේ දී ද මතු නොවීමම ඇගේ මේ විශේෂත්වය තවදුරටත් තහවුරු කරයි. අනෙක් අතට ළමා පාඨකයාට ද ඒ ඇසුරෙන් සිය කුසලතා පාදා ගැනීමට අවස්ථාව සැලසෙයි. ‘අහස් ගමට ගිය සිත්තරා’ ඇතු`ඵ අප වෙසෙසින් අගය කළ සම්මානිත කෘති ත්‍රිත්වය ඊට දෙස් දෙයි. සම්මත රාමුවෙන් පිට ළමා මනසට ගෝචර අත්දැකීම් නිර්මාණයට පාදක කර ගැනීමට ඇය ගන්නා උත්සාහය අභියෝගයක්ය යන්න පුන පුනා කිව යුතු නොවේ. එහෙත් ඒ අභියෝගය සීරුවෙන් ජය ගැනීම අද ඇගේ වගකිම වී තිබේ.

“මේ එදා ගමෙන් පිට වෙලා යන වෙලාවේ අපි සමුගත්ත හැටි”

ඒ උපුටනයෙන් පවා පෙනී යන්නේ ඇගේ අඛ්‍යායන ශෛලියෙහි ඇති වෙනස් අත් හදා බැලීමකි. ඒ චිත්‍රයත් ඒ අනුව දුර රූප මැද එක් සමීප රූපයකින් අවසන් වන්නකි. ඒ සමීප රූපයේ ඇත්තේ ද අතක කොටසක් සහ සුරත පාන තරුණයෙකුගේ රුවකි. ඒ ‘මගේ ගුරුතුමා’ කතාවේ ඇරඹුමයි. මේවැනි අත්හදා බැලීම් දරුවන් විෂයයෙහි පරීක‍ෂාවට ලක් කිරීමේ අවදානම ද ඇය හිසින් ගෙන තිබීම සතුටකි. දෘශ්‍ය සාක්ෂරතාව (visual literacy) ප්‍රබල මෙවන් යුගයක ජීවත් වන දරු පරපුර විෂයයෙහි මෙබඳු අත්හදා බැලීම් මෙන්ම රූපමය සංස්කරණයෙනන් වෙනස් ආරක ළමා සාහිත්‍යයක් සිංහල ළමා පාඨකයාට අත්පත් කර දෙන උත්සාහයක් ඇගේ ළමා කෘති වල දැකිය හැකිය. විටෙක ඒ චිත්‍රවල ඇත්තේ සිනමාත්මක රූප රාමු, සංස්කරණයක නැතහොත් සිනමාරූපි සංරචනයක ලකුණුය. එම රූපඡේදන සහ සමීප සහ දුර රූප ස්වභාවයේ චිත්‍ර සහ පිටු සැලසුම් සමග මේ කතුවරියගේ ප්‍රයත්නයට දායක වන චිත්‍ර ශිල්පීන්, ඊට උර දෙන ප්‍රකාශකයින් ද මෙහිලා ඇගයුමට, විමසුමට ලක් වනු වටී.

සාහිත්‍යය යනු මානව ජීවිතය විවරණය වන ගැඹුරු සෞන්දර්යයාත්මක ප්‍රකාශනයක්නම් දරුවාගේ අභ්‍යන්තරයට කොඳුරන භාවාත්මක අත්දැකීම් සිය නිර්මාණකරණයෙහි ලා ගොනු කර ගත් තනුජා එන්. අයගමගේ කතුවරියගේ මේ වෙසෙස් අභ්‍යාසය දරුවන්ට මෙන්ම ගුරුදෙගුරු වැඩිහිටි අප කාටත් වඩාත් ඵලදායක අත්දැකීමක් වනු නියතය. පෙන්වන සුරංගනා ලෝකයෙන් මෙපිට ළමා ලෝකයේ සැබෑ යථාර්ථය සමග පොරබදන මේ අපේ ළමා කතාකාරිය තනුජා එන්. අයගම තවදුරටත් ලාංකේය ළමා සාහිත්‍යයේ නව ප්‍රවණතා පෙන්වන නව මං ඉම් සොයා පාදා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

තනුජා එන්. අයගමගේ නිර්මාණ යාත්‍රාවට ප්‍රවේශයක්

මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

වෙන් වී යන මොහොත මේ ය දවල් නමැති හුරතලාව
පෙන් වන සලකුණක් සේ ම සන්සුන් සැන්දෑ කලාව
තැන් තැන්වල සිතිජ දිගට නඟත කනක පැහැ වලාව
කන් තල නළවමින් ඇසෙයි ඈත ගොපලූ බටනළාව


තනුජාගේ නිර්මාණ අධ්‍යයනය කරද්දී හෙළ කවි කෙත පෝෂණය කළ එස්. මහින්ද හිමියන්ගේ ඉහත සඳහන් සුන්දර පද්‍යය සිහිපත් වූයේ ඇයි දැයි නොදනිමි. එහෙත් ඒ ගැන නැවත නැවත සිතද්දී මට දැනෙන්නේ ඈතින් ඇසෙන මියුරු බටනළාවකින් මතු වන නාද මිහිර තනුජාගේ නිර්මාණ වෙතින් ගලා එන බව ය. වි්යෙන් ඇගේ ‘මගෙ ගුරුතුමා’ නම් නිර්මාණය එහි ලා හේතු වන්නට ඇතැයි මට සිතේ. කලිනුදු ඇගේ පොතක් දෙකක් කියවා තිබුණත් යළිදු මේ නිර්මාණකාරියගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙහි ලා මට උල්පත වූයේ ‘මගෙ ගුරුතුමා’ ය. ඒ අනුව ඇය විසින් ලියන ලද ‘කවුද හැඩ’, ‘ඉර එළිය’, ‘මුහුද සහ දෝණි’, ‘අහස් ගමට ගිය පුංචි සිත්තරා’ සහ ‘පුංචි බිංදු ලොකු ගමනක්’ යන ළමා පොත් පහ ද මට අධ්‍යයනය කරන්නට ලැබිණ.

අපේ අම්මා වරෙක පැවසුවේ හැඩ සහ ලස්සන යනු එකක් නොව දෙකක් බව ය. තනුජාගේ ‘කවුද හැඩ’ යන ළමා පොත අම්මාගේ එම ප්‍රකාශය සනාථ කරන නිදසුනක් සේ මට දැනෙයි. එහි කියැවෙන්නේ කොටු සහ රවුම් අතර ඇති වන දෙබසකි. කොටු රවුම්වලට වඩා තමා වැදගත් වන බව පවසන අතර රවුම් පවසන්නේ කිසි ම ලස්සනක් නැති කොටු සම`ග හිඳීමට තමා ද ප්‍රිය නොකරන බව ය. මේ ගැටුම සමනයෙහි ලා ඉදිරිපත් වන්නේ දෙපිරිස ම තමා තුළ රඳවාගෙන සිටින පෙට්ටිය යි. රවුම් සහ කොටු යන දෙපිරිස ම තමාගේ මතය උදෙසා පෙනී සිටිති. දෙපිරිස අතර ගැටුමේ ප්‍රතිඵලය වන්නේ ඒ දෙපිරිස ම පෙට්ටියෙන් ගිලිහී මේසය මතට වැටීම යි. අනතුරුව කුඩා ළමයි රවුම් ද කොටු ද සුදුසු පරිදි එක් කොටගෙන සුදු කොළයක අලවති. අවසානයේ නිමා වන්නේ ලස්සන දරුවෙකි. කොටුවේ හැඩයත් රවුමේ හැඩයත් එකට එක් වීමෙන් සොඳුරු දරුවකු නිර්මාණය කළ හැකි වෙයි. අම්මා හරි ය: තනුජාත් හරි ය. එහෙයින් ඇගේ මේ පොත කුඩා දරු කැලට මතු නොව වැඩිහිටි අප තුළ ද දැක්මක් ඇති කරන කෘතියක් ලෙස හඳුන්වනු කැමැත්තෙමි. එසේ ම ‘කවුද හැඩ’ සිතුවමින් හැඩ කළ සුමුදු බෝගහලන්දට ද පිටකවරය නිර්මාණය කළ ඒ.එස්.විමලවීරට ද අපගේ ප්‍රසාදය හිමි විය යුතු ය.

තනුජාගේ ‘ඉර එළිය’ සුන්දර චිත්‍රයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ පාට පාට කූරු පමණක් නොවන බව අපට කියයි. අවශ්‍ය ම මොහොතේදී මෙහි කියැවෙන පුංචි සිත්තරාට පාට පෙට්ටිය නැත. ඔහු තමා ළඟ ඇති කළු පාට කූරින් චිත්‍රය නිම කරයි. ඒ හිරු එළියෙන් පෙනෙන ලෝකය යි. ඔහු අඳින්නේ හිරු එළිය නිසා මිහි මත පතිත වන අඳුරු සෙවණැලි ය. ඔහු සොඳුරු ම චිත්‍රය නිර්මාණය කරන්නේ අඳුරු ම වර්ණවලිනි. ජීවිතයේ සොඳුරු ම දේ ග්‍රහණය කරගන්නේ ද ජීවිතයේ අඳුරු ම දේ විඳි චරිත යැයි වරෙක සිතේ. මෙරට ජීවත් ව සිටි සුවිශිෂ්ට නිර්මාණකරුවකු වූ කිවිපති විමල් අභයසුන්දර නම් සොඳුරු මිනිසා සිය දයාබර බිරිඳ කල්‍යාණියගේ විරහය නිසා ජීවිතයේ ඇති වූ අඳුරු ම නිමේෂයේදී සොඳුරුතම කවි නිර්මාණය කෙළේ ය. ඔහුගේ ‘දෙනුවන’ එවැන්නකි. රබීන්ද්‍රනාත් තාගෝර් නමැති විශිෂ්ට භාරතීය සාහිත්‍යධරයා අතින් ‘ස්මරණ’ නම් විරහ කාව්‍යය ලියැවුණේ යම් සේ ද, අභයසුන්දරයන් අතින් ‘දෙනුවන’ ලියැවෙන්නේ ද එසේ ය.

විමල් අභයසුන්දර නම් කවියාගේ දෑස දුර්වල ව තිබූ අවධියේදී ඔහු ළඟ හිඳ පොත-පත කියැවූයේ බිරිඳ කලණිය යි. එහෙයින් බිරිඳ අහිමි වීම යනු ඔහුට සිය දෑස අහිමි වීමකි: දෙනුවන අහිමි වීමකි. අඳුරු ම නිමේෂයේදී සොඳුරු ම කවි ඔහු අතින් ලියැවෙයි. එම කවිවලින් කියැවෙන්නේ කවියා තුළ වන අසීමිත විරහ වේදනාව යි. එකව් කියැවීමෙන් අප තුළ ඇති වූ හැඟීමක් වරෙක මෙසේ ප්‍රකාශ කරනු ලැබිණ.

විඳි සුන්දරත්වය අහිමි ව ගිය දාට
ආලෝකය කුමට? සඳවත දෙන රෑට
අඳුරු ම හද දනියි ලොව සොඳුරු ම පාට
ඒ ලොව අසිරි සිරි පවසනු හැකි කාට

මෙහි දී ‘ඉර එළියට’ සිය සිත්තමින් එළිය ගෙන ආ රන්දිමා හර්ෂණී සිත්තරාවියට ද අපගේ ගෞරවය හිමි විය යුතු ය.

තනුජාගේ ‘මුහුද සහ දෝණි’ ද සොබාදහමේ සුවිශිෂ්ට නිමැවුමක් වන මහ මුහුද නම් ගුරුවරයා වෙතින් ලද පාඩමින් ජීවිතය සංගීතයක් කොටගන්නා දියණියක පිළිබඳ කතාවකි. තමා ගායිකාවක නොවන බව පුන-පුනා පවසන ලෝකයට ඇය පෙරළා උත්තර දෙන්නේ මහ මුහුදින් උගත් සංගීතයේ පාඩම් ජීවිතය සම`ග එකතු කරගනිමිනි. ඇය මුහුදේ නැෙඟන හඬ අනුකරණය කරයි. සප්ත ස්වරයේ උස්-පහත් වීම් පිළිබඳ පාඩම් ඇය උගන්නේ මුහුද නමැති ගුරුවරයා වෙතිනි. මේ සුවිශේෂී ගුරුවරයාගේ පාඩම්වල ගුණ-රුව ලේඛකයා අපට කියා දෙන්නේ මෙසේ ය.

“ඔයාගෙ පුංචි අතට ගන්න මේ මුහුදු වතුර දෝතක්. ලූණු රසයි නේද? මහ මුහුදෙ වතුර කොයි ඉසව්වෙන් ගත්තත් ලූණු රසයි. කොයි ගම් පළාතකින් විතරක් නෙමෙයි කොයියම් රටකින් ගත්තත් එය ලූණු රසයි.

ඔයාගෙ සංගීත දිවියත් ඒ වගේ වෙන්න ඕනෑ. ඔයා ගයන හඬ, ඔයා කොහේ සිට ගැයුවත්, කොයි මොහොතේ ගැයුවත් තවත් කෙනෙක්ගේ හදවතට දැනෙන්න ඕනෑ. හිත සනසන ගායනයක්, සංගීතයක් ම වෙන්න ඕනෑ. මතක තබාගන්න ඒක.”

සංගීතය උගන්නා කුඩා දරු-දැරියන් විසින් පමණක් නොව, සංගීතයෙහි ලා යෙදී සිටින සියලූ ම සංගීතවේදීන් සහ සංගීතවේදිනියන් විසින් ද සිය හදවතෙහි තබාගත යුතු, නිබඳ වන පොත් කළ යුතු පාඩමකි, ඒ. විද්‍යුත් බලය මත ක්‍රියාත්මක වන ආලෝකය විවිධාකාරයේ නද මිහිර මතු කරයි. එබලය අහිමි ව ගිය මොහොතේ තාක්ෂණය මත පදනම් වන සංගීත භාණ්ඩවල හඬ අහිමි වෙයි. ඒවා මත පමණක් විශ්වාසය තබන අත් සහ හඬ නිහඬ වද්දී සොබාදහමේ සංගීතයෙන් උපන් මෙහි කියැවෙන දියණිය සිය සංගීතය අරඹයි. ඒ මොහොතේ ඇගේ මිතුරු-මිතුරියෝ ද අත්වැල් ගායනයෙන් ඇයට සහය වෙති. අන්ධකාරය මැදින් මතු වන ආලෝකයේ ස්වරය අඳුරේ හිඳ සිටින ප්‍රේක්ෂක නෙත මතු නොව සිතට ද ආලෝකය ගෙන දෙයි. තනුජාගේ ‘මුහුද සහ දෝණි’ වූකලී දරු අත මත පමණක් රැඳිය යුතු පොතක් නොවේ. එය තුරුණු මෙන් ම පරිණත ලොව සුතුරුණු මෙන් ම සුපරිණත කරයි. එහෙයින් මෙවන් නිර්මාණයක් බිහි කළ මේ නිර්මාණකාරියට සොබාදහම් දියණියට අපගේ කවකින් ම සුබ පතන්නට සිතෙයි.

මහ මුහුද දකිමි දුව මුහුදෙහි ගැඹුර ද දනිමී
මුදු වෙරළ දකිමි දුව වෙරළෙහි ගුණය හඳුනමී
නැෙඟන බිෙඳන රැලි පවසන දහම උගනිමී
මහ මුහුද අසමි දුව ඉන් ජීවිතය ද අසමී


මගේ ජීවිතයේ ඇති සොඳුරු ම හිමි වීම වන්නේ සමන් සිත්තරාගේ සොහොයුරා වන්නට ලැබීම ය. අඳුරුතම සිදුවීම වන්නේ අකාලයේ ඔහු අපට අහිමි වීම ය. තනුජාගේ ‘අහස් ගමට ගිය පුංචි සිත්තරා’ කියවද්දී මට වරින් වර සිහිපත් වූයේ ඒ ආදරණීය සිත්තර සොහොයුරා ය.

‘අහස් ගමට ගිය පුංචි සිත්තරා’ ද ළමා පොතකි. ඒ වූකලී අහසට මෙන් ම මිහිකතට ද එක සේ ආදරය කරන සොඳුරු දරුවකු පිළිබඳ කතාවකි. මේ දරුවා ගෙදර රැඳී උගනියි. ඔහු වැඩට යන අම්මා සහ පාසල් යන දරු-දැරියන් දෙස ගෙදර උඩු මහල් කවුළුවෙන් බලා ඔවුනට අත වනයි. ඔහු වෙත පැමිණෙන ගුරුවරයා ඔහුට උගන්වන්නේ පරිසරය, සිංහල, ගණිතය යන විෂයන් පමණක් ම නොවේ. ඒ සමඟ ම ඒ ගුරුවරයා ඒවා සමඟ ජීවිතය පිළිබඳ පාඩම් ද කියා දෙයි. මේ අතර පැරැණි ගුරුවරයා වෙනුවට අලූත් ගුරුවරයෙක් දරුවාට ඉගැන්වීමට එයි. දරුවා මෙහිදී මෙයට බලවත් විරෝධයක් දක්වයි. ඔහු හඬා වැටෙමින් සිය ආදරණීය පළමු ගුරුවරයා ඉල්ලා සිටියි. එවිට දෙවන ගුරුතුමා මෙසේ පවසයි.

“ඔයාගෙ ගුරුතුමා අසනීප වෙලා. ඒකයි පුතා මං ඔයාට උගන්වන්න ආවේ. හැමදාම නෙමෙයි. ටික දවසකට.”

දරුවා ඒ ගුරු හඬට අවනත වෙයි. මේ දෙවන ගුරුවරයා උගන්වන්නේ චිත්‍ර කලාව යි. ඔහු දරුවාගේ මේසය මත දියසායම් සහ වතුර පීරිසියක් තබා ලී අට්ටාලයක සුදු කොළයක් රඳවා සොඳුරු සිතුවමක් අඳියි. අනතුරුව සිය අත රැඳි පින්සල දරුවා අතට දෙයි. ඔහු එතැන් සිට චිත්‍ර ඇඳීමට යොමු වෙයි: හුරු වෙයි. දෙවන ගුරුතුමා නික්ම යයි. යළි මුල් ගුරුතුමා පැමිණෙයි. කාලය ගත ව යයි. මේ නිවාඩු කාලය යි. ගුරුවරයා ගමට යයි. අම්මා, තාත්තා වැඩට ගොසිනි. දරුවා උඩු මහලේ සිට පහළ බලයි. ඔහුට පෙනෙන්නේ තමාගේ වයසේ ම දරු-දැරියන් සතුටින් සෙල්ලම් කරන ආකාරය යි. ඔහුගේ දෑස කඳුළින් තෙත් වෙයි. ඒ කඳුළු කම්මුල් තෙමා ගලා බසියි.

දරුවා සිතුවමක් අඳියි. අහස මුදුනේ ඉර යි. ඒ වටා රන්වන් වලාකුළු ය. තමා ඇඳි චිත්‍රයට දරුවා තබන්නේ ‘ගිනිගත් අහස’ යන නම යි. මේ අතර බිත්තියට වැදුණු රබර් බෝලයක් දරුවාගේ උකුළට වැදෙයි. සෙල්ලම් කරන දරුවෝ කෑ ගසමින් ඉක්මනින් බෝලය පහළට දමන්නැයි කියති. ළමයකු වූ විට සෙල්ලම් කළ යුතු බවත් “ඔබේ අම්මා, තාත්තා ඔබ සිර කරගෙන සිටීම අපේ වරදක් නොවන බවත්” ඔවුහු හඬ ගා කියති. දරුවා බෝලය ඔවුන් වෙත යවා යළිත් සිතුවම් අඳින්නට පටන්ගනියි. අහසේ පාට පාට වලාකුළු දිස් වෙයි. ඔහු ඒවා ද චිත්‍රයට නඟයි.

සිය දෙමව්පියන් ගෙදරට ආ විට මේ කුඩා දරුවා දහවල් වූ සිදුවීම ඔවුනට කියයි. ඒ දෙදෙනා පවසන්නේ දුක් නොවන ලෙසත් පසු දින ඔහු ගමනක් එක් කරගෙන යන බවත් ය. ඒ දෙදෙනා සිය පොරොන්දුව පරිදි පසු දා දරුවා මුහුදු වෙරළට එක් කරගෙන යති. ඉර බසින සන්ධ්‍යාවක ඇති චමත්කාරය දරුවා එතැන සිට උපරිම ව විඳගනියි. පසු දින ඔහු අඳින්නේ පෙර දා දුටු සුන්දර ආකාශය යි. එක් කොළයක ආකාශ ගංගාව යි. තවත් එකක අහස් කඳු යි. අනෙකේ ආකාශ ගම්මානය යි. ඔහුගේ චිත්‍ර මෙන් ම මාතෘකා ද සුන්දර වෙයි. සිය සිතුවම් තමාට කතා කරන්නාක් මෙන් ඔහුට දැනෙයි. ඔහු මෙසේ දිගින් දිගට ම අඳින අතර ඒ සිතුවම් එකතු කරයි.

තවත් දවසක ඔහු අඳින්නේ පහළ මිදුලේ සම වයසේ දරු-දැරියන් සෙල්ලම් කරන ආකාරය යි. ඔහු ඒ සිතුවමින් රොකට්ටුවක් හදා දරු-දැරියන් සෙල්ලම් කරන තැනට යවයි. දරුවෝ එය දිග හරිති. ඔවුන්ගේ මුහුණු ආලෝකවත් වෙයි. ඒ සමඟ ම ඒ සෑම මුහුණක ම සමාව අයදින බැල්මක් ඇති වෙයි. මේ දරුවන් කනගාටු වන්නේ සිය සිත්තර මිතුරා සෙල්ලම් කිරීමට නොඒම ගැන ය. ඔවුහු ඔහුට අත වනති. ඔහු ද අත වනයි.

දිනක් මහ රෑ මහ වැසි වසියි: විදුලිය කොටයි: ගොරවයි: අකුණු ගසයි. දරුවා සෙමෙන් දොර අරියි. කළු අහස පැළී විදුලිය රේඛා මතු වෙයි. දරුවාගේ කුටිය ද එළි වෙයි. පසු දින ඔහු අඳින චිත්‍රයට මුල් වන්නේ පෙර දා රාත්‍රියේ දුටු ආකාශය යි. ඔහු සිතුවම අඳියි. එහි මාතෘකාව ‘පැලුණු අහස’ යි. සිය අම්මාත් තාත්තාත් රාත්‍රියේ මිදුලේ සේපාලිකා ගස යට බංකුවක වාඩි වී කතා කරමින් හිඳිනු ඔහුට පෙනෙයි. ඔහු ඒ දෙදෙනාගේ සෙවණැලි දකියි. සිත්තර ගුරුවරයාගේ රේඛා දරුවාගේ ජීවන රේඛා බවට පත් වෙයි. ඔහු දිගින් දිගට ම අඳින සිතුවම් කලින් කී පරිදි එකතු කරයි. පසුව පළමු ගුරුතුමා ද දෙවනු ව ආ සිත්තර ගුරුතුමා ද එකතු වී දරුවාගේ සිත්තම් දැක්මක් තැබීමට කටයුතු කරති. දිනක් පහළ සෙල්ලම් කරන ළමයින් මැදට රොකට්ටුවක් වැටෙයි. ළමයි එය දිග හැර බලති. ඒ වූකලී ඇරයුම් පතකි. “ඔයගොල්ලෝ එන්නම ඕනෑ. මං බලාගෙන ඉන්නවා.” මේ සිතුවම් දැක්මට කැරෙන ආරාධනය යි. මෙය බලා මිතුරෝ ‘අපි එනවා’ යැයි එක් වර හඬ නඟති. දිනය උදා වෙයි. ඔහුගේ සිතුවම් සුදුසු පරිදි තැනින් තැන එල්ලන්නේ පළමු ගුරුතුමා සහ දෙවන ගුරුතුමා ය. සිතුවම් බලන කවුරුත් එය ඉතා ආශාවෙන් නරඹති: දරුවාට ආශිර්වාද කරති. පහළ සෙල්ලම් කරන දරුවෝ ද සිය මිතුරාගේ සිතුවම් බැලීමට පැමිණෙති. ඔවුන් දැක දරුවා සතුටින් ඉපිලෙයි. මිතුරු ළමා ඇස් දරුවා ළඟ නතර වෙයි.

“ඔන්න අද මමත් ඔයාලා ළඟට ආවා. අපි දැන් මගේ අහස් ගම්මානයට යමු” දරුවා කියයි. “එහෙනම් ඔයා පහළට නාවේ මේ නිසයි. අපිට සමාවෙන්න උඩ යහළුවේ.” ඒ දරුවා වූකලී ආබාධිත දරුවෙකි: රෝද පුටුවෙන් යන දරුවෙකි. “ඔයගොල්ලෝ වරදක් නොකර සමාව ඉල්ලන්නේ ඇයි? මං තරහා නෑ කා එක්කවත්. මං බලාගෙන හිටියෙ ඔයගොල්ලෝ ළඟට එන දවස ගැන. දැන් ඉතිං ඒකත් හරි. මට හරි සතුටුයි අද.” “ඔයා උඩ ඉඳන් කරපු සෙල්ලමත් නරක නෑ. අපි කාටවත් බැරි සෙල්ලමක් ඔයා උඩ ඉඳගෙන කරලා තියෙන්නේ. හරිම අපූරුයි.” “ඔයා අපිව අහසට එක්කරගෙන ගියා වගේ.” එක එක යහළුවන් එක එක දේ පවසන්නේ සිතුවම් දැක්ම නරඹමිනි. “ඔයා වැඩියෙන්ම කැමති අහසට වගේ” එක දරුවෙක් පවසයි. සිත්තර දරුවාගේ පිළිතුර මෙය යි. “නෑ. මම අහසට වගේම අහස යටින් තියෙන සුන්දර ලෝකෙටම ආදරෙයි.” මේ කතාව කියැවීමේදී අපට සිහිපත් වන්නේ මෙය කියැවිය යුතු උපරිම පාඨක සහෘදයා අපට අහිමි ව ගොස් ඇති බව ය. ඒ සොඳුරු සමන් සිත්තරා ය. ඔහු ජීවත් ව සිටියා නම් මට කිසි සේත් ම සිතිය නොහෙන සුගැඹුරකින් තනුජාගේ නිර්මාණ ගැන කතා කරනු ඇත. ඇයගේ නිර්මාණාවලියටත් සමන් සිත්තරාටත් උවසර පිණිස මෙයින් වසර කිහිපයකට පෙර, එනම් 2012 වර්ෂයේදී සිළුමිණ පුවත්පතට මවිසින් ලියන ලද ‘සිත්තර සිත්තම්’ නම් තීරු ලිපියේ පළමු ලිපිය ලෙස පළ වූ ‘සිත්තම’ ලිපියෙන් කොටසක් උපුටා දක්වනු කැමැත්තෙමි. “ 1987 වර්ෂයේ ගෙදර ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් සිදු කෙරිණ. ඒ කටයුතුවල දී ලලිත කලාවේදී දිනසිරි දිසානායක සහෘදයාගේ නොමඳ සහාය ද ලැබිණ. ඉදිරිපස ආලින්දයේ බිත්තියක විසල් ඉඩකඩක සමන් සිත්තරා විසින් සුදු තීන්ත ආලේප කරවනු ලැබිණ. එය විසල් සිත්තමක් ඇඳීමට තැනූ විසල් රාමුවක් වැන්න. එහෙත් ඔහු කිසිදා ඒ මත සිතුවමක් ඇන්දේ නැත. ගෙදරට යන එන මිතුරු මිතුරියෝ නෑ හිතවත්හු මෙහි අඳින සිතුවම කුමක් දැයි අපෙන් විමසති. එය අඳින්නේ කවදා දැයි අසති. දිනක් මම ද මේ ගැන අය්යාගෙන් විමසුවෙයි. ඒ මොහොතේ ඔහු සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. ඒ සඳ පෑයූ මනරම් රැයකි. ආලින්දයේ ලී කවුළු පියන්පත් දෙක හැරදමා තිබූ අතර, ඉදිරිපස දොර ද විවර කොට තිබිණ. අය්යා ඒ සඳපහන් රැයෙහි ගෙමිදුලෙහි සක්මන් කරමින් සිටියේ ය. ඔහු මට ද එළිමහනට කතා කළේ ය. මම එළිමහනට ගියෙමි. එතැන සිට ආලින්ද බිත්තියේ සුදු තීන්ත ආලේප කළ හිස් අවකාශය දෙස බැලීමි. ඒ මොහොතෙහි එහි අපමණ සොඳුරු සිත්තමක් විය. සෙලවෙන ගහකොළවල ඡායාව ද ගෙමිදුලෙහි සිටින අපගේ ඡායාවන් ද වැටී එතැන චංචල සජීවී චිත්‍රයක් නිර්මාණය වී තිබිණ. අපි එය විඳගතිමු. අය්යා එතැන සිත්තමක් නොඇඳීමේ රහස අනාවරණය වූයේ එදා ය.” ඇගේ මේ පොතට අනුර ශ්‍රීනාත් නම් ප්‍රවීණ සිත්තරා ද ආදිත්‍ය විෙජ්සිංහ නම් ළමා සිත්තරා ද සාධාරණය ඉෂ්ට කොට තිබේ. තනුජාගේ ‘පුංචි බිංදු ලොකු ගමනක්’ ලොකු අප විසින් ද විඳගත යුතු සොඳුරු නිමැවුමකි. මෙහි සොඳුරු සිත්තම් ද අනුර ශ්‍රීනාත්ගෙනි. එම කතාව පටන්ගන්නේ වතුර බිඳුවක සිතිවිල්ලකිනි. ගස්වල මුල් පොළොව මතට ගොස් මිහි මත සුන්දරත්වය විඳගනියි. අනතුරුව ඒ ගැන සංවාදයකි. ඒ සංවාදය ඇසුණු මොහොතේ සිට යට කී වතුර බිඳුව කල්පනා කරන්නේ එකී සුන්දරත්වය තමා විඳගත යුතු ආකාරය ගැන යි. මේ අනුව මිහි මත සුන්දරත්වය සොයා යන මුල් වතුර බිඳුවට අනෙක් වතුර බිඳු ද එකතු වෙයි. ඔවුහු නව මං සොයමින් ගමන් කරති. බින්දුවෙන් බින්දුව එක් වී දැන් වතුර බිඳු පෝලිමක් නිර්මාණය වී තිබේ. පුංචි මුල්, ලොකු මුල් අතරින් පස් කැට දිය කරමින් වතුර බින්දු ගමන් කරයි. එක් වර ම ගල් කැටයක් තල්ලූ කරමින් වතුර බින්දු එළියට වැටෙයි. වතුර බිඳු දිගින් දිගට ම වැටුණු තැන වළක් නිර්මාණය වෙයි. වතුර බිඳු එකතුව එතැන ජලාශයක් සැදෙයි. ඉර එදෙස බලා හිඳිනු පමණක් නොව, වතුර බිඳුවල ක්‍රියාකාරීත්වය ලෝකයට ද පෙන්වයි. වතුර බින්දු, වළට පමණක් සීමා නො වී දිය පාරක් සදයි. ඒ දිය පහර ප්‍රධාන ප්‍රවාහයක් වී නිදහසේ ගමන් කරයි. හමු වන ගල් අතරින් සොඳුරු ජල තරඟ නිර්මාණය කරයි. පරිසරය ද සුන්දර කරමින් ගලා යන ප්‍රවාහය ඇළක් වෙයි. ඇළ ගඟක් වෙයි. පොත අවසන් වන්නේ මෙසේ ය.

“ඉස්සර වගේ ම යි. වතුර බිංදුලා ආපස්සට හැරුණේ නැහැ. තව තව ඉස්සරහට ම ගියා. ලස්සන ලෝකය බලන්න එළියට ආපු වතුර බිංදුලා ලෝකය ලස්සන කරමින් ඉස්සරහට ම ගියා. තාමත් ඉදිරියට ම යනවා”

තනුජාගේ මේ සොඳුරු නිර්මාණය කියවද්දී මට සිහිපත් වූයේ එච්. ඇම්. කුඩලිගම කවියාගේ ‘ගංගාවේ ගීතය’ යි. එහි එන පහත කව කියවද්දී මට දැනුණේ ඒ වූකලී තනුජාගේ කතාව කවියෙන් ප්‍රකාශයට පත් වීමක් ලෙස ය.

හිරිමල් සිනා රැලි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවල ම හැපි හැපි බිහි කරමි මම
සම තැනිතලාවල හමු වෙයි අලසකම
නිරස යි අතරමඟ අවහිර නො දුටු බිම


තනුජාගේ මෙතෙක් මා කියැවූ නිර්මාණ අතුරින්, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් නමැති සුවිශිෂ්ට චින්තකයාගේ සුකීර්තිමත් අධ්‍යාපනඥයාගේ ‘බටනළාව’ ලේඛනය සෙයින් ද දේශයට අහිමි ව ගිය සමන් සිත්තරාගේ සොඳුරු සිත්තමක් සෙයින් ද මට වඩාත් දැනුණු නිර්මාණය ගැන දැන් ලියමි.

ඒ ‘මගෙ ගුරුතුමා’ ය. මගේ මේ ජීවිත කාලය තුළ කියන්නට ලැබුණු හෘදයංගම, සුන්දර අර්ථවාහී නිර්මාණාවලියට තනුජාගේ ‘මගෙ ගුරුතුමා’ ද එක් කරනු රිසියෙමි. ඇගේ පිදුම ‘දැයේ දරු දැරියන්ට’ ය. මේ කෘතියට ද සොඳුරු සිත්තම් එක් කොට ඇත්තේ අනුර ශ්‍රීනාත් සහෘදයා ය. ඔහුට ද හද මල් පුදනු රිසියෙමි.

කතාව දිග හැරෙන්නේ මෙහි ප්‍රධාන චරිතය වන සංගීතවේදියා ගමෙන් පිටත් ව යන මොහොතේ සිය ගුරුවරයාගෙන් සමුගන්නා මොහොතිනි. අපට සිත්තරා දකින්නට ලැඛෙන නමුත් ගුරුවරයාගේ දිස් වන්නේ එක් අතක් පමණි. සංගීතඥයා මෙහි කියැවෙන ගමට එන්නේ සිය සංගීතයට ඕනෑ ම කරන ‘හඬ’ හඳුනාගැනීමේ අරමුණිනි. ඔහුට ඇසෙන්නේ සොඳුරු බටනළා හඬකි. ඔහුට සිය සංගීත ගුරුවරයා මුණගස්වන්නේ ද ඒ බටනළා හඬ යි. ඔහු නවාතැන ලෙස තෝරාගෙන පැමිණෙන්නේ ද ඒ සංගීතඥයා ද වසන ‘ඕවිටි ගෙදර’ නම් වූ ගෙදරට යි. පාසල් නිවාඩු කාලය බැවින් ගුරුතුමා ද ගමේ ය. එහෙයින් නගරයෙන් ආ සංගීතවේදියාට ඉගැන්වීමට ගමේ ගුරුතුමාට හැකියාව ලැඛෙයි. දෙදෙනා ම එක් වන් ව සංගීතය උගනිති.

ඒත් මේ දෙදෙනා අතර ලොකු වෙනසක් තිබේ. ඒ නගරයෙන් ආ සංගීතඥයා සප්ත ස්වර පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා ඇති මුත් ගමේ සංගීතඥයා තමා එය ඉබේ හුරු කරගත් බව පැවසීම ය. මෙය නගරයෙන් ආ සංගීතඥයාට පුදුමයක් වුවත් පසුව ඔහුට එහි සත්‍යතාව පසක් වන්නේ ඔහු වයලීනයෙන් වයන ඕනෑ ම ගී තනුවක් ගමේ සංගීතඥයා බටනළාවෙන් වයන බැවිනි. නගරයේ සංගීතඥයාට ඔහු පළමු සංගීත පාඩම කියා දෙන්නේ මැදියම් රාත්‍රියේදී ය. ඔහු සංගීතඥයා ගෙදරින් එළියට කැඳවාගෙන ගොස් වත්ත පහළ ලී කොටයක් මත හිඳගැන්මට සලස්වයි. අනතුරුව නිහඬ ව සවන් දීමේ කලාව උගන්වයි. පළමු රාත්‍රියේදී නගරයේ සංගීතඥයා හඳුනාගන්නේ පළඟැටි නාදය යි. සංගීතය ගැන කතා කරන්නට නොව, නිහඬ ව සවන් දෙන්නට ගමේ ගුරුවරයා උගන්වයි. අනතුරුව ඔවුනට ඇසෙන්නේ හුස්ම ගන්නා සහ හුස්ම පිට කරනා හඬකි. ඒ මී ගව රළක හෘදය ස්ඵන්දනය යි.

පසු දා උදෑසන කුකුළු හඬට, කුරුලූ හඬට සවන් දෙමින් අවදි වන නගරයේ සංගීතඥයා සමඟ ගමේ සංගීතඥයා එළියට ගමන් කරයි. පළමු ව ඇහුම්කන් දීමකි. දෙවනු ව නිහඬ වීමකි. නිශ්ශබ්දතාව සහ ඇහුම්කන් දීම ඔහුගේ පාඩම්වල අනිවාර්ය අංගය යි. නගරයේ සංගීතඥයා ද ගමේ සංගීතඥයා මෙන් රබර් කොළ සැලෙන හඬට, රබර් ගෙඩි පිපිරී විසිරෙන හඬට, සුළෙඟ් සර-සරයට සවන් දීමට ඉගෙනගනියි.

ගමේ ගුරුතුමා උදෙන් පැමිණ පවසන්නේ ගමේ ඇවිදින්නට යාමට සූදානම් වන ලෙස යි. නගරයේ සංගීතඥයා පටිගත කිරීමේ උපකරණ ද රැගෙන ගමනට එක් වෙයි. ගුරුවරයා මෙහිදී නිතර පවසන්නේ සොබාදහමේ හඬට නිබඳ සංවේදී විය යුතු බව ය. තනුජා ඒ බව ඇගේ වචනවලින් මෙසේ පවසයි.

“පුංචි පුංචි දියකඩිති ළඟ නතරවන ඔහු මට නොකියා කියන්නේ, අහන්න කියලා. මාළු පැටවු උඩ පනිමින් පුංචි දිය දහරේ නඟන සියුම් නාදය පවා ඔහු මට තේරුම් කරදෙන්නයි මේ වෑයම. මට තේරෙනවා ගුරුතුමනි, මට හොඳින් ම තේරෙනවා.”

ඉර මුදුන් වන තුරු ඇවිදින මේ නගරයෙන් ආ සංගීතඥයා නිබඳ ගුරු උපදෙස් පිළිපදියි: නිහඬතාවට ඇහුම්කන් දෙයි: බොහෝ දේ ඉගෙනගනියි. පෙරළා ඔවුන් එන්නේ සිහින් පොද වැස්සක් වැටෙන මොහොතේ ය. එය මහ වැස්සක් බවට පත් වෙයි. රබර් වත්ත ඔස්සේ සුළං නාදය ද ඇසෙන්නට ගනියි. ගහකොළ මත පතිත වන වැස්සේ හඬ, සුළඟ සමඟ ගහ වෙත ඇදී එන වැහි හඬ එකිනෙකට වෙනස් ය. මී ගව රළේ හඬ ද ඇසෙයි. තෙතබරිත වෙල් නියරේ උන් ළඟට දිව යද්දීත් ඇසෙන්නේ අලූත් හඬකි. ඔහු එය ද විඳියි. එදා සවස් වරුවේ ම වැසි වසියි. ඕවිටි ගෙදර පිලේ වාඩි වී මේ සංගීතඥයෝ දෙදෙනා මිදුලට වැහි වැටෙන හඬත් ගහකොළට වැහි වැටෙන හඬත් වැහි වතුර එක් වන්නට ගෘහණිය පීල්ල යටින් තැබූ බඳුනට වතුර වැටෙන හඬත් අසති. නගරයේ සංගීතඥයා ඒ සියල්ල පටිගත කරගනියි. ගමේ ගුරුතුමා නිහඬ ව හිඳියි. අවසන නික්ම යාමේ දිනය එළඹෙයි. ගමේ ගුරුතුමාගේ නිවාඩු මාසය ම වෙන් වූයේ නගරයෙන් ආ සංගීතඥයා වෙනුවෙනි. මේ ගමනේදී නගරයේ සංගීතඥයා එකතු කොටගත් දේ බොහෝ ය. ඉන් ඔහු විශිෂ්ට ප්‍රතිඵල ලබයි. එහෙත් ඔහු සිතන්නේ එහි කීර්තිය හිමි විය යුත්තේ ගමේ සිය ගුරුතුමාට බව ය. ඔහු පෙරළා ගමේ ගුරුවරයා සොයාගෙන ඕවිටි ගෙදරට එයි. ගෙදර අය නගරයේ සංගීතඥයා ලද ජයග්‍රහණය ගැන සතුට පළ කරති. සංගීතඥයා ආ සැණින් අසන්නේ සිය ගුරුවරයා කෝ යනුවෙනි. “මේක ඇහුවා ම ඒ දරුවා සතුටු වෙයි. කෝ ඇත්තට ම මේ ළමයා?” “රන්දුල…. රන්දුල….” ඔහු ඉක්මනින් ගෙට යයි. නගරයේ සංගීතඥයා නිර්මාණය කළ සංගීත තැටියේ හඬ ‘ගමේ හුස්ම’ යි. ඔහු ඒ තැටිය ක්‍රියාත්මක කරයි: ශබ්දය වැඩි කරයි. සංගීතඥයා පිටුපස හැරී බලයි. ගමේ සංගීතඥයා මිදුලට වී කෙවිටට බර ව ඒ අසා සිටියි. ඔහු සිය ශිෂ්‍යයා දෙස නොබලා සංගීතයට හොඳින් සවන් දෙමින් සිටියි. එම සංගීතයෙන් ප්‍රකාශයට පත් වන්නේ ‘ගමේ හුස්ම’ යි. නගරයේ සංගීතඥයාගේ ගුරුවරයා වූයේ මේ ගෙදර සිටින කුඩා දරුවා – රන්දුල – ය. ගමේ හුස්ම අපට ද ඇසෙයි: දැනෙයි. ඒ ඇසුම, දැනුම තනුජා විසින් කරනු ලැබ ඇත්තේ අපට හුරුපුරුදු සප්ත ස්වරයේ සංගීතයටත් එහා ගිය, වචන හා බැඳුණු සංගීතයෙන් ලෝකය වෙත ප්‍රදානය කිරීමකි. මේ මොහොතේ මගේ සිහියට නැෙඟන්නේ ‘ලේඛකයා’ යන වචනයේ නිරුක්තිය යි. මේ සම්බන්ධයෙන් ද අප විසින් බොහෝ විට ලියනු ලැබ තිබේ. 2003 වර්ෂයේදී ‘ලේඛනය, ලේඛකයා සහ ඔහුගේ වගකීම’ යන මැයෙන් ඉරිදා ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියක මෙවන් සඳහනක් කරනු ලැබිණ. “ලේඛන, ලේඛක යන වචන දෙක ම සැදෙන්නේ ලිවීම, ඇඳීම යන අරුත්හි යෙදෙන ‘ලිඛ්’ යන ධාතුවෙනි. චිත්‍රය හෙවත් අඳින ලද දෙය යන අරුත දෙන ආලේඛ්‍ය යන වචනය සැදෙන්නේ ද මේ ධාතුවෙන් ම යි. එසේ ම ලියන ලද යන අරුත දෙන ‘ලිඛිත’ යන අතීත කෘදන්තය සැදෙන්නේත් එම ධාතුවෙන් ම යි. එසේ ම ‘පහුරු ගෑම’, ‘ඉරි ගැහීම’ සහ ‘සීරීම’ යන අරුත් ද මෙහි ඇත. ඇතැම් ලේඛකයන් විසින් ලියන ලද ඒවා දෙස බැලු විට ඒ අරුත්වල ද යම් සත්‍යයක් ඇතැයි සිතේ. මේ හැරුණු කොට ‘අනිනවා’, ‘පලනවා’, ‘කොටනවා’, ‘ස්පර්ශ කරනවා’, ‘සිනිඳු කරනවා’ යන අරුත් ද ‘ලිඛ්’ ධාතුවේ ඇත.” තනුජා සිය ලේඛනයෙන් අපට අනින්නේ නැත: පළන්නේ ද නැත: කොටන්නේ ද නැත. ඇය වචනවලින් සිත්තම් අඳියි: එයින් අප ස්පර්ශ කරයි: අපේ හදවත් සිනිඳු කරයි. ඇයගේ නිර්මාණ ගැන මීට වඩා කතිකාවතක් නිර්මාණය විය යුතු ය: නිර්මාණය කළ යුතු ය. ඒ ලේඛිකාවක ලෙස ඇය හුවා දක්වනු පිණිස නොව, අප ජීවත් වන සමාජය තිඛෙන තැනට වඩා අඟලකින් හෝ උසස් කිරීමට ඇගේ නිර්මාණ හේතු වන බැවිනි. මේ මට අවංක ව ම දැනෙන හැඟීම යි. මේ ලේඛනය ද ඒ සඳහා වන සුළු හෝ ප්‍රවේශයක් වේ වා යනු අපගේ පැතුම යි. තනුජාගේ නිර්මාණ ගැන ලියැවෙන මෙම ලේඛනය අවසන් කිරීම සඳහා මට තෝරාගැන්මට සිතෙන්නේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමාගේ ‘බටනළාව’ නම් ලිපිය යි. එම ලිපිය ආරම්භ වන්නේ මෙසේ ය. “සංගීතය ගැන මම කිසිවක් නොදනිමි. සංගීත භාණ්ඩ ගැන ද මා තුළ දැනුමක් නැත. එහෙත් ඈතින් ඇසෙන බටනළා ශබ්දයට මම ඉතාමත් ම ප්‍රිය කරමි. බටනළා ශබ්දය පරිසරය නිසල කරතියි ද පිරිසුදු කරතියි ද යන හැඟීමක් මා තුළ තිබේ.”

තමා ඇතුළත කිසිවක් රඳවා නොගැනීම ම, එනම් පූර්ණ හිස් බවකින් යුක්ත ව සිටීම ම බටනළාවේ ඇති විශේෂත්වය යි. ඒ හිස් අවකාශය තුළ ඇති හිස් බව නිසා ම බටනළාවේ ඇති හිල්වලින් නිකුත් වන්නේ සුමියුරු හඬකි. එහෙත් ඒ බටනළාව ඇතුළට රන් කැට හෝ ගල් කැට ඇතුළත් කළ විට ඒ සුමධුර හඬ පිට වන්නේ නැත. අදිකාරම් මහතා පවසන්නේ උසස් සමාජ සේවකයා ද බටනළාවක් විය යුතු බව ය. ඔහු පවසන පරිදි රන් කැට හෝ ගල් කැට ඒ තුළ පවත්නා තාක් එය ප්‍රයෝජනවත් බටනළාවක් බවට පත් නොවේ. එවිට කිසි යම් ශබ්දයක් නිකුත් විය හැකි වුවත් බටනළාවට ආවේණික වූ නියම නාදය එයින් පිට වන්නේ නැත. වටිනා රත්රන් කැට මෙහිදී බාධාවකි, අවහිරයකි. කෙනකු ධනයෙන් වියුක්ත වන තුරු මානව දයාවක් ඔහු තුළ නොරැෙඳයි. ධනාශාවත්, මානව දයාවත් එක තැන නොරැෙඳන බැවිනි. ගල් කැට ද බටනළාවට බාධාවකි. ඇතුළේ ගල් කැට තිඛෙන බටනළාවෙන් ද මිහිරි නාදය පිට නොවේ. දුගියාට ධනය නැත. එහෙත් ඔහු ද ධනාශාවෙන් යුක්ත ව සිටින තාක් කල් මේ බටනළාවෙන් මධුර සංගීතය නිකුත් කිරීමට ඔහු ද සමත් නොවේ. මන්ද, ඒ දෙදෙනාගේ ම අභ්‍යන්තරය එක හා සමාන බැවිනි. බටනළාවේ තිඛෙන පිරිසුදු හිස් බව ඒ දෙදෙනාට ම නැති බැවිනි. අදිකාරම් මහතා පවසන්නේ ධනය රුපියල් සත වීමට අවශ්‍ය නැති බව ය. උගත්කම ද එක්තරා විධියක ධනයකි. ඔහු පවසන පරිදි උගතෙක් මැයි සිතින් ආස්වාදයක් විඳින තැනැත්තා ද පිරිසුදු හිස් තැනැත්තෙක් නොවේ. ඔහු උගත්කමේ මානයෙන් අවහිර වූවෙකි. මම නූගතෙක්මැයි දුක් වන නූගතා ද පිරිසුදු හිස් තැනැත්තෙක් නොවේ. ඔහු නූගත්කමේ මානයෙන් අවහිර වූවකු බැවිනි. එහි මෙවන් සටහනක් ද වෙයි. “සිංහල භාෂාවෙහි “මානය” යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරනු ලබන්නේ උඩඟුකම, ආඩම්බරය, අහංකාරකම යන අර්ථ සමූහයකි. එහෙත් “මාන” යන්නේ වචනාර්ථය “මැනීම” යන්නයි. තමා ධනවතෙක් යයි අනෙක් අය සමග මැන ගැනීම මානයයි, තමා දුගියෙක් යයි මැනගැනීම ද මානයයි. කවර විදියකින් හෝ මානයෙන් යුත් තැනැත්තා ද අකිඤ්චන තැනැත්තෙක් හෙවත් පිරිසිදු හිස් තැනැත්තෙක් වන්නේ නැත.”

අදිකාරම් මහතා පවසන්නේ අහංකාරය හෙවත් ‘මම කිරීම’ නිසා ඇති වන මම යන හැඟීම හේතුවෙන් අපේ නෛසර්ගික පිරිසුදු හිස් බව වැසී ඇති බව ය. මම යන හැඟීම නිසා මගේ යන හැඟීම ඇති වෙයි. එසේ හටගත් හැඟීම් ඇති ව කටයුතු කරන විට එය කරනු ලබන්නේ එය කළ යුතු නිසා නොව, එය මගේ බැවිනි. මගේ මිතුරා, මගේ හතුරා, මගේ රට, මගේ නොවන රට, මගේ ජාතිය, මගේ නොවන ජාතිය, මගේ ආගම, මගේ නොවන ආගම ආදි වශයෙන් වන සිතීම ම ඔහුගේ ක්‍රියාවන්ට මූලික හේතුව වන බැවින් එසේ කටයුතු කරන තැනැත්තා සම්පූර්ණ ශ=න්‍යතාවෙන් යුතු බටනළාවක් නොවෙතියි අදිකාරම් මහතා අවධාරණය කරයි. සංගීතය වේවා, නර්තනය වේවා, සිත්තම වේවා, වෛද්‍ය වෘත්තිය වේවා, පරිපාලනය වේවා, දේශපාලනය වේවා මේ කවර හෝ කටයුත්තක නිරත වන අය විසින් එය කළ යුත්තේ එය කළ යුතු නිසා මිස එය මගේ නිසා නම් නොවේ. එය එසේ වන තෙක් ජීවිතය නමැති බටනළාවෙන් ජීවිතය පවිත්‍ර කරන, සුන්දර කරන, අර්ථවත් කරවන මියුරු සංගීතය නිකුත් වන්නේ නැත.

අප විසින් ම සදාගත් මේ සිර කූඩුවෙන් අප නිදහස් විය යුතු ය. තනුජාගේ නිර්මාණ අපට නැවත නැවතත් පවසන්නේ විහින් සදාගත් මේ සිර කූඩුවෙන් නිදහස් විය යුතු බව ය. ආචාර්ය අදිකාරම් මහතා මෙසේ කියයි. “මනුෂ්‍ය සමාජය නමැති පරිසරය පිරිසිදු කරවන පවිත්‍ර සේව-සංගීතය නිකුත් වන්නේ පිරිසිදු හිස් බටනළාව වැනි අකිඤ්චන පුද්ගලයාගෙන් ය. සමහර විට අපට නොපෙනෙන, නොදැනෙන ශක්තියක් ඔහුගේ පූර්ණ හිස් බව තුළින් ලෝකය වෙත ගලා යනවා ද ඇත.”

තනුජා එන්. අයගම නම් සොඳුරු නිර්මාණවේදිනියගේ නිර්මාණාවලියෙන් අප ජීවත් වන සමාජය පවිත්‍ර කරවන, සොඳුරු කරවන මධුර සංගීතය නිකුත් වෙතැයි මට සිතේ. ඇයගේ මේ නිර්මාණාවලියෙන් ගලා යන්නේ ද අපට නොපෙනෙන අපට නොදැනෙන ශක්තියකි.

මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, සංස්කෘත පිළිබඳ මහාචාර්ය භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. 2017.11.30

තනුජා එන්. අයගම ලියූ ළමා කතන්දර

සත්‍යපාල ගල්කැටිය

පොත්වලින් තොර ළමා ලෝකය ළමා ලෝකයක් නොවේ. එය දුබලතම වින්දනය සහිත සිත් වසඟ කරන්නා වූ ලෝකයක් වෙත ළමයා කැනදන් යා හැකි දොරටු වසාලයි.
-ඇස්ට්‍රීඩ් ලින්ඩ්ග්‍රන් (ප්‍රකට ළමා පොත් ලේඛිකා)

පිළිගත් විද්වත් මතවලට අනුව සාර්ථක ළමා සාහිත්‍ය කෘතියක අඩංගු විය යුතු අංග කිහිපයකි. ඉන් සමහරක් නම්

1. ප්‍රතිවර්තනය : (Repetition)
2. උපදේශාත්මක බව : (Didaction)
3. චිත්‍ර සටහන් : (Illustration)
4. ශුභවාදී බව : (Optimism)
5. මනඃකල්පිත බව : (Fantacy)
6. අහිංසක බව : (Innocence)
7. ළමුන් වැඩිහිටියන්ගෙන් වෙනස්වන බව : (Different from adults)

ළමා කතා රචිකාවියක වන තනුජා එන්. අයගම මේ වන විට ළමා කතන්දර පොත් දාහතරක් රචනාකොට ඇත. 2012, 2014, 2016, 2017, යන වසරවලදී පිළිවෙලින් ඇය විසින් රචිත අහස්ගමට ගිය පුංචි සිත්තරා, මුහුද සහ දෝණි, ඉර එළිය සහ මගේ ගුරුතුමා යන කෘතීන්වලට වසරේ හොඳම ළමාකතාව සඳහා වන රාජ්‍ය සම්මාන දිනා ඇත.

ප්‍රතිවර්තනය යනු එකම කරුණක් කිහිප විටක් ම සඳහන් කිරීමයි. එවිට ළමයාගේ සිත්හි මෙය හොඳින් ධාරණය වේ. මෙය සාහිත්‍යයේ දී අප ඉගෙන ඇති පුනරුක්ත දෝෂය සමග පටලවා ගත යුතු නොවේ. තනුජා එන්. අයගම ද අවස්ථානෝචිත පරිදි අඩු වැඩි වශයෙන් සිය ළමා කතාකරණයේ දී මේ ලක‍ෂණ උපයුක්ත කොටගන්නා බව පෙනේ.

ළමා කතාවක විනෝදාස්වාදයට අමතරව උපදේශාත්මක පණිව්ඩයක් අනිවාර්යයෙන් ම අඩංගු විය යුතු ය. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස ඇයගේ “ඉර එළිය” නම් ළමා කතාව හැඳින්විය හැකිය. පුංචි රංග චිත්‍ර තරගයක් සඳහා සහභාගී වේ. බෑගයේ තිබුණු පාට පෙට්ටිය නැත. තරගයට වාඩි වූ පසු මුලින් මදක් කලබල වූවත් පසුව සිත සන්සුන් කරගෙන තමා අත වූ එකම පැන්සලෙන් අගනා සිතුවමක් අඳියි. එම චිත්‍රයට පළමු ස්ථානය ලැබේ. යම් යම් සම්පත් ඌනතාවයන් ඇති වුවද කලබල නොවී තිඛෙන සම්පත් නිර්මාණශීලී ලෙස උපයෝගී කරගතහොත් අවශ්‍ය ඉලක්කය කරා ඉතා සාර්ථකව ළඟා විය හැකිය යන ආදර්ශය කතාවෙන් ඉදිරිපත් වෙයි.

සෑම කතාවකම පාහේ හමුවන පොදු ලක‍ෂණයක් නම් ගුරුවරයා යන සංකල්පය ඉතා ඉහළ තලයකට ඔසවා තැබීමය. ඇතැම්විට මෙය ඇය ලැබූ ආගමික හෝ ආචාරවිද්‍යාත්මක පරිචය විසින් මෙහෙයවන ලද්දක් විය යුතුය.

ළමා කතාවක තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් නම් කතාවට ගැළපෙන මනා චිත්‍ර නිර්මාණය වී තිබීමය. ඇගේ සෑම කතාවකටම ගැළපෙන අලංකාර සිතුවම් ඇඳ තිබේ. මේ සඳහා ඇයට විවිධ චිත්‍ර ශිල්පීන් සහය වී ඇත. මනා පිට කවරය සහ අගනා නිමාවද මෙම පොත් ළමා සිත ආකර්ෂණය කර ගැනීමට සමත් වේ.

ළමා කතා කලාවේ ආරම්භක අවදිය ගැන අධ්‍යයනය කිරීමේදී හෙළිදරව්වන කරුණක නම් මුල් යුගයේදී ලියවුණු ළමා කතා, කතා කරන වඳුරෝ, පියාඹන ඉබ්බෝ, සදා නින්දට වැටුණු කුමාරිකාවෝ වැනි ෆැන්ටසිවලින් ගහණවීමය. එහෙත් වර්ථමාන සන්දර්භයක් තුළ දී විශද වන කරුණක් නම් වත්මන් ළමා කතා රචකයෝ වඩාත් ස්වභාවවාදී කතා කලාවක් වෙත නැඹුරු වීම ය. තනුජා එන්. අයගම විසින් උපයුක්ත කොටගෙන ඇත්තේ ද මේ ශෛලියයි. ඉතා අපූර්ව ලෙස පරිසරයේ චමත්කාරය ඇය විසින් විචිත්‍රණය කරනුයේ ළමා මනස ඉන් උද්දීපනය කරමිනි. එමෙන් ම ස්වභාවවාදී ශෛලයට මූලික වශයෙන් අනුගත වුව ද, ඇතැම්විට ස්වභවධම_යේ චමත්කාරය ෆැන්ටසිකරණයට හසු කරයි. නිදසුනක් ලෙස “මුහුද සහ දෝණි” කතාවේදී දෝණිට ඇසෙනුයේ මුහුද තමා හා සංවාදයක යෙදෙන්නා සේ ය. ඇයට ඇසෙනුයේ මුහුදු රල තමාට මූලික සංගීත පාඩමක් කියාදෙමින් සිටින බව ය.

තනුජාගේ සෑම කතාවකම පාහේ කේන්ද්‍රීය කතා නායකයා ඉතා අහිංසක ළමයෙකි. මුලදී ඔහු හෝ ඇය යම් යම් බාධකවලට මුහුණ දුන්නද අවසානයේ දී තම උත්සාහය හා දිරිය නිසා තම ජයග්‍රාහී ඉලක්ක කරා ඔහු හෝ ඇය ළඟාවේ. තමා අවට වූ පරිසරය සිතුවමට නගමින් සාර්ථක සිත්තරකු වූ ළමයකුගේ කතාවක රැගත් “අහස්ගමට ගිය පුංචි සිත්තරා” මීට කදිම නිදසුනකි.

“මගේ ගුරුතුමා” කතාව ඇයගේ සෙසු කතාවලින් වෙනස් මගක් ගත් කතාවකි. වක්කඩ ළඟ, ගවගාල අසල, ගස් සෙවණ යට සැරිසරමින් පටිගත කළ හ~ සමූහයෙන් අවසානයේ මහා සංගීතයක් නිර්මාණය කර ගැනීමට ගමේදී හමුවන ගුරුවරයාගේ මඟ පෙන්වීම මින් ඉදිරිපත් කරයි. මෙය උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණයෙන් ලියන ලද කතාවකි.

ළමා කතා රචනයේදී ඇය විසින් උපයුක්ත කොටගෙන ඇත්තේ ලේඛන භාෂාව නොව කථන භාෂාවයි. ළමා මනසට කතාව ග්‍රහණය කර ගැනීමෙහිලා මෙය ඉතා ඖචිත්‍ය පූර්ණ බවක් ජනිත කරයි. උත්තම පුරුෂ හා අන්‍ය පුරුෂයන් ලියැවුණු ඇතැම් කතාවක කතා නායකයා හෝ නායිකාවගේ නම වරක් හෝ සඳහන් නොවී තිබීම යම් දුර්වල ලක‍ෂණයක් ලෙස මම දකිමි.

බටහිර ලෝකයේ සිදුවූ කාර්මික විප්ලවය හා සමගාමීව ළමුන් පිළිබඳ ව නව කතිකාවක් ආරම්භ විය. ළමා ශ්‍රමය සූරාකෑමට විරුද්ධවීම, ළමා අයිතීන් ආරක‍ෂා කිරීම වැනි මාතෘකා මේ අතර ප්‍රධාන තැනක් ගත්තේ ය. මේ නිසා පූව_ගාමී යුගවලට වඩා ළමයා හා වැඩිහිටියා අතර අර්ථකතනමය විභේදනයක් ද වැඩි වන්නට විය. ළමා සාහිත්‍ය වුවද මෙහි ප්‍රතිඵලයක් ය යන්න සමහර විද්වතුන්ගේ මතයයි. තනුජා එන්. අයගම ලේඛිකාවද ළමා කතා රචනයේදී වැඩිහිටියා සහ ළමයා අතර වෙනස මනාව වටහා ගනිමින් විටෙක ඇය ද යළිත් තම ළමා කාලය වෙත පිය නගමින් සාර්ථක ළමා කතාකරණයක නියැලේ.